almost 8 years ago by Manthri.lk - Research Team under in Analysis

 

නව රජය බලයට පත්ව හයමසක් ගෙවී ගොස් අවසන් ය. නමුත් නව පාර්ලිමේන්තු සාමාජිකයාගේ/සාමාජිකාවගේ භූමිකාව ද පුරවැසියා හමුවේ නිර්මාණය කරදුන්නේ පෙර පැවති ගැටළු මය. ඉන් කිහිපයක් පහත පරිදි පෙළ ගැස්විය හැකි ය.

 

·        ආයතනයක පවතින පුරප්පාඩුවක් සපිරීමට සුදුස්සන් නම් කර මන්ත්‍රීවරයෙකුට/මන්ත්‍රීවරියකට ලිපි නිකුත් කළ නොහැකි ද?

·        මන්ත්‍රීවරයෙකුට/මන්ත්‍රීවරියකට, පොදු පුරවැසියා නියෝජනයට පෙර, සිය පක්ෂය හා එහි සාමාජිකත්වය නියෝජනය කළ නොහැකි ද?

·        යම් දානපතියකු තුටු සිතින් දෙන ත්‍යාගයක් පිළිගැනීමට මන්ත්‍රීවරයකුට/මන්ත්‍රීවරියකට නොහැකි ද?

·        හදිසි කෝප ගැන්වීමකදී මන්ත්‍රීවරයෙකු/මන්ත්‍රීවරියක අතින් යමෙකුට පහර වදින්නට ඉඩක් නැති ද?

 

උක්ත ප්‍ර‍ශ්න සඳහා නිසි පිළිතුරු විමසන්නෙකුට හමුවන අගනා පිළිතුරු පත්‍ර‍යක් වන්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිණිස වන ආචාරධර්ම පද්ධතියයි.

2015 ජනවාරි මස අටවැනිදා බලයට පත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ඉදිරිපත් කළ දින සියයේ වැඩ පිළිවෙල තුළ ප්‍ර‍මුඛ සඳහනක් මේ සඳහා ලැබී තිබිණ. දින සියයේ වැඩපිළිවෙල යෝජනා කර තිබුණු කාල සීමාව තුළ එය භාවිතයට නොකැවුණ ද  2015 වර්ෂයේ සැප්තැම්බරය වන විට ශ්‍ර‍ී ලංකා රජය සම්බන්ධ වුණු ‘විවෘත ප්‍ර‍ජාපාලන හවුලෙහි‘ (Open Government Partnership) පසුබිමද යළි ආචාරධර්ම පද්ධතිය පිළිබ කථිකාව පෙරමුණට කැවී ය. අවසානයේ එය අපේක්ෂා සහගත අන්දමින් යළි කරළියට පැමිණියේ පසුගිය අප්‍රේල් 06 වැනිදා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට කැවීමත් සමග ය.

 

පාර්ලිමේන්තු සාමාජිකයා/සාමාජිකාව වගකිව යුත්තෙකි

නියෝජිත ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පදනම්ව පාර්ලිමේන්තුව නියෝජනයට වරම් ලබන්නා රටේ පුරවැසි සමූහයේ සෘජු නියෝජිතයෙකි. එහෙයින්ම ඔහුගේ/ඇයගේ  චර්යාවන් හා ඇවතුම් පැවතුම්ද, ප්‍ර‍කාශනයන් ද ප්‍ර‍බල අර්ථ නිරූපණවලින් සමන්විත වෙයි. රාජ්‍යයක ක්‍රියාත්මක ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ ස්වභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකාරකම් හරහා පිළිඹිබු වෙයි. එහෙයින්ම ඔහු/ඇය තමන්ටත්, සිය රාජ්‍යයට හා එහි පුරවැසි සාමාජිකයින්ටත් සෘජුව වගකීමට බැඳී සිටියි. ඉහත, ලිපිය ආරම්භයේ අප නැගූ, සමාජය අභිමුව නැගෙන ප්‍ර‍ශ්න සහා සදාචාරසම්පන්න මෙන්ම ප්‍ර‍ජාතන්ත්‍රීය පිළිතුරු අත්‍යාවශ්‍ය වන්නේ එහෙයිනි.

රටක රාජ්‍ය සේවය හා සමාන්තර සේවා සහා සේවකයින් බදවාගන්නට නිසි වැඩ පිළිවෙලක් පවතිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන්/මන්ත්‍රීවරියකගෙන් ලැබෙන ලිපියකින් තනතුරු පිරවීම නීත්‍යානුකූල නොවන අතරම ඒ සහා ලිපි නිකුත් කිරීම ආචාරධර්ම විරෝධී ද වෙයි. සමස්ථ පුරවැසියා සමාන ලෙස නියෝජනය කිරීමෙන් ඔබ්බට ගොස් සිය දේශපාලන පක්ෂය හා සාමාජිකත්වය පෙරමුණට කැදවීම ස්වයං වාරණයකින් වළක්වාගන්නා ආචාරධාර්මික මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන් පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍ය ය. මහජන අවකාශවලදී මෙන්ම පාර්ලිමේන්තුව තුළ දීද කුපිත නොවී, ගුණගරුකව අනෙකා අමතමින් හැසිරෙන මන්ත්‍රීවරයා/මන්ත්‍රීවරිය වඩා ප්‍ර‍ජාතන්ත්‍රීය පාලන ක්‍ර‍මයක් සහා ලබා දෙන්නේ අමිල මෙහෙයකි. ස්වකීය දේපළ හා වත්කම් හෙළිදරව් කරමින් නොනැවතී ත්‍යාග ලෙස හෝ ලැබෙන ආර්ථික සහායන් ද හෙළිකරමින්ද, ඒ හමුවේ ආචාරධර්මික ව කටයුතු කරමින්ද හැසිරෙන මන්ත්‍රීවරයා/මන්ත්‍රීවරිය මහජන විශ්වාසය හා විනිවිදභාවය ඇති කිරීමට මහත් සහයෝගයක් ලබා දෙයි.

 

ආචාරධර්ම සුරකින්නා සැබෑ මහජන නියෝජිතයා ය

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාවරයා ලෙස කටයුතු කරමින් සිටි බැරී ඕ‘ෆෙරල් 2014 වසරේ අප්‍රේල් මස සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ මිළ අධික වයින් බෝතලයක් ත්‍යාග ලෙස ලබා එය හෙළිදරව් නොකර සිටීම පිළිබ සිය වරද පිළිගනිමිනි. කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඩීන් ඩෙල් මැස්ට්‍රෝට 2015 වසරේ ජූනි මස එරට අධිකරණය විසින් මසක සිර දඩුවමක්, සිවුමසක නිවාස අඩස්සියක් ඇතුළු දඩුවම් නියම කරන්නේ නියමිත ඩොලර් පන්දහසක ඡන්ද ප්‍ර‍චාරණ වියදම් ඉක්මවමින්, වියදම් සගවා කටයුතු කිරීම සම්බන්ධයෙනි.

 

අප සුළු කොට සළකන ඡන්ද ප්‍ර‍චාරණය සහා වැය කිරීම් හා මහජන නියෝජිතයින්ට ලැබෙන තෑගිභෝගාදිය වුව ප්‍ර‍ජාතන්ත්‍රීය සමාජය සහා අයහපත් පසුබිම් නිර්මාණය කරනු ඇත. මිළ අධික ත්‍යාගයක් හමුවේ ත්‍යාගය ලබා දුන් තැනැත්තා වෙත පක්ෂග්‍රාහී වී කටයුතු කිරීමේ අවකාශ නිර්මාණය වීම හේතුවෙනි;  අසමාන ඡන්ද ව්‍යාපාර වැය කිරීම් විසින් බලපෑම්සහගත ඡන්ද ප්‍ර‍තිපල නිපදවමින් යහපත් මහජන නියෝජනයට බාධා එල්ල කිරීම හේතුවෙනි.

 

සැවොම සූදානම් ද?

 

පසුගිය වසරේ සමාජ ක්‍රියාධරයින් හා ප්‍ර‍ජාතන්ත්‍රීය සමාජයක් බිහිකිරීම සහා කටයුතු කරන සිවිල් පුරවැසියන් එක්ව බිහිකරන මාර්තු 12 ව්‍යාපාරය දූෂණය පිටුදකින මහජන නියෝජිතායතනයක් බවට පාර්ලිමේන්තුව පත් කිරීම පිළිබ ඇති ප්‍ර‍මුඛ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. වඩා සාධනීයම කරුණ එම ව්‍යාපාරය හා එක් වීමට මහජන නියෝජිතයින් 16 කගෙන් සමන්විත පිරිසක් ද පැමිණීමයි. එය ආචාරධාර්මික පාර්ලිමේන්තු සාමාජිකයකු/සාමාජිකාවක නිර්මාණය කිරීම සම්බන්ධ යහ-ලකුණකි. පත් වුණු රජයේ දින සියයේ වැඩ පිළිවෙල තුළදීම මුල් අංකයකට කැවන මෙම ආචාරධර්ම පද්ධතිය පිළිබ අදහස ඒ සහා රජයේ අනුමැතිය ප්‍ර‍කට කරන්නකි. එසේම සිය පාලන පැවැත්මේ ප්‍ර‍කාශ වදන බවට පත් කරගෙන සිටින ‘යහපාලනය‘ යන්න එහි ව්‍යවස්ථා සමපාදකය තුළ ම ස්ථාපිත කිරීමට මෙමගින් අවකාශ හිමි වේ.

 

ප්‍ර‍ජාතන්ත්‍රීය සමාජයකදී පුරවැසි නියෝජනය නිසි පරිදි සිදු වන්නට නම් වඩා යහපත්ව හා ආචාරසම්පන්නව කටයුතු කරන නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම අත්‍යාවශ්‍ය ය. එබැවින් මහජන නියෝජිතයා සහා වන ආචාරධර්ම පද්ධතිය යනු කුමක්දැයි වටහා ගනිමින් සිය නියෝජිතයාට ඒ හා බැදී කටයුතු කරන්නට ආරාධනා කරන පුරවැසි සමාජයක් අවශ්‍ය ය. එය ඡන්ද ක්‍ර‍ම වෙනසකින් පමණක් යහපත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමට වඩා පෙරටුගාමී පියවරකි.