over 7 years ago by Manthri.lk - Research Team under in Analysis

අපගේ මෙම Manthri.lk වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සහ ශ්‍රේණිගත කිරීම ප්‍ර‍කාශයට පත් කර ඇත. පසුගිය වසරේ අගෝස්තු 17 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ගෙවුණු කාල සීමාව තුළ සිය පාර්ලිමේන්තු භූමිකාව තුළ ක්‍රියාත්මක වී ඇති ප්‍ර‍මාණය අනුව මෙම ඇගයීම් සහ ශ්‍රේණිගත කිරීම් ලබා දී ඇති අතර ඉදිරි ක්‍රියාකාරීත්වය හා සමගාමීව මෙම පවතින තත්වයන් වෙනස් වනු ඇත.

ඇගයීම කුමකට ද?

මහජන ඡන්දයෙන් තේරී පත්වන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැනුවත් වීම පුරවැසියාගේ අයිතියකි. මූලිකව, ජනමාධ්‍ය හරහා ඒ පිළිබඳව දැනගැනීමට අවකාශය හිමි වෙතත් එක් එක් මාධ්‍යයේ සීමාවන් තුළ පුරවැසියාට සමස්ථ ක්‍රියාකාරීත්වය දැනගැනීමට ඉඩ නොලැබේ. ප්‍ර‍වෘත්ති සහ පාර්ලිමේන්තු වාර්තාකිරීම් හරහා සමාජය අභිමුව තැබෙන්නේ වඩා උණුසුම් සහ කාලීනව වැදගත් වන තෝරාගත් කරුණු පමණි. ඒ හේතුවෙන්, එක් එක් මන්ත්‍රීවරයා/වරියගේ සහභාගීත්වයන් හා ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඔහු/ඇය මැදිහත් වන වෛෂයයික සාකච්ඡාදිය පිළිබඳ වන සමාජ දැනුවත් කිරීම හා අන්තර් ක්‍රියාව අත්‍යවශ්‍ය වූවකි. එය, තවත් අයුරකින්, පත් කළ නියෝජිතයින් දෙස නිරන්තර අවධානයකින් බලා හිඳ ඉදිරි ව්‍යවස්ථාදායක පත් කිරීම් සඳහා ඔවුන්ට ඉඩ ලබා දිය යුතු හෝ නොයුතු වේ ද යන්න තීරණය කිරීමට ද සහාය සපයන්නකි.

ඇගයීම සිදු කළ හැකි ද?

එය සිදු කළ හැක්කකි. මෙහිදී සිදු වන්නේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයන්හි හැන්සාඩ් වාර්තා විමර්ෂණය කරමින් ඒ ඒ මන්ත්‍රීවරුන් ඒ සැසිය තුළ ක්‍රියාත්මක වන ආකාරයන්ගේ දත්ත එක් රැස් කිරීමයි. විද්‍යාත්මක දත්ත විමර්ෂණ ක්‍රමෝපායන් නිසි පරිදි ක්‍රියාවට නැංවීම මගින් කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයකුට පක්ෂපාතී නොවූ ඇගයීම් හා ශ්‍රේණිගත කිරීම් පද්ධතියක් මෙහි ගොඩ නඟා ඇත. සියලුම මන්ත්‍රීවරුන් සඳහා සම ඇගයීම් හිමිවන මෙම පද්ධතිය තුළදී වෙබ් අඩවිය පරිශීලනය කරන්නාගේ අවශ්‍යතාව අනුව සමස්ථ ඇගයීම හෝ පක්ෂ අනුව ඇගයීම හෝ විවිධ විෂයයන් යටතේ ඔහුගේ/ඇයගේ මැදිහත්වීම පිළිබඳ ඇගයීම් යනාදී වශයෙන් තත්ව විමසා බැලිය හැක. ඒ හා සමග එක් එක් මන්ත්‍රීවරුන් සසදමින් කරුණු විමසන්නට හැකි වීමද තවත් විශේෂත්වයකි.

ඇගයීමේ භාවිතයන්

මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් හා ශ්‍රේණිගත කිරීම් කරුණු ගණනාවක් ඔස්සේ භාවිතයට ගත හැක. එසේම ඒ ඔස්සේ, ව්‍යවස්ථාදායක තෝරා පත් කරන පුරවැසියන් වන අපට වඩා ඵලදායී ඉදිරියක් සඳහා කටයුතු කළ හැක.

·        වඩා වැදගත් තනතුර නොව ක්‍රියාකාරීත්වයයි

 

මෙවර ඇගයීම් සටහන්වල බොහෝ පෙරමුණු නාමයන් පාලක පක්ෂය වෙනුවට විපක්ෂයත්, ප්‍ර‍ධාන පක්ෂ වෙනුවට සුළු පක්ෂත් නියෝජනය කරන බව ඔබට පෙනී යනු ඇත. ඇමති තනතුරු දරන මන්ත්‍රීවරයකු වීම ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය නොවන බවට එය සාධකයකි. පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීම, ක්‍රියාකාරීව එහි වන සාකච්ඡා සඳහා මැදිහත් වීම සහ පාර්ලිමේන්තු ක්‍ර‍මය හදුන්වා දෙන සෙසු ක්‍රියාකාරී මැදිහත් වීම් (උදා: ලිඛිත ප්‍ර‍ශ්න/ අගමැතිවරයාගෙන් සෘජුව අසන ප්‍ර‍ශ්න ආදී) වෙත යොමු වීම මගින් ව්‍යවස්ථාදායක තුළ ඵලදායී ක්‍රියාත්මකභාවයක රැදී සිටීමට මන්ත්‍රීවරයකුට/වරියකට අවකාශ හිමි වේ.

 

·        ව්‍යවස්ථාදායකයේ ඵලදායී අනාගතය

 

මෙම ශ්‍රේණිගත කිරීම අනාගතයේ වඩා ඵලදායී ව්‍යවස්ථාදායකයන් නිර්මාණය කරගැනීමට අපට සහාය දේ. මන්ත්‍රීවරුන්/වරියන්ගේ ක්‍රියාකාරකම අනාගත පත් කිරීම් සඳහා මිණුම් දණ්ඩක් ලෙස භාවිතා කළ හැකි බැවිනි. සෑම අංශයකදීම අවම සහභාගීත්වයක් සහ ඇගයීමක් ලබා ගන්නා සාමාජික/සාමාජිකාවන් නැවත පත් කළ යුතු ද යන්න අපට සළකා බැලිය හැකි අතරම, ඉහළ සහභාගීත්වයක් පෙන්නුම් කරන නව මන්ත්‍රීවරයකු වුව (ක්‍රියාකාරී නව මන්ත්‍රීවරුන්ගේ සටහන බලන්න) අනාගතයේ වඩාත් ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස යළි කැඳවීම පිළිබඳ අපට සළකා බැලිය හැක.

 

·        විනිවිද දැකිය හැකි ව්‍යවස්ථාදායකය

 

මන්ත්‍රීවරයා/වරිය පිළිබඳ නිරන්තර ඇගයීම වනාහි ඔහු/ඇය සිදු කරන සියළු ක්‍රියාකාරකම් විනිවිද දැකීමකි. වැඩි ක්‍රියාත්මක බවකින් යුතු මහජන නියෝජිතයා මෙන්ම ඔහු/ඇය දායක වන කාර්යයන් පුරවැසියාට හඳුනාගත හැකි වීම මෙහි ඇති වටිනාකමයි. මන්ත්‍රීවරයා/වරිය ව්‍යවස්ථාදායකය සඳහා යම් අයුරකින් අඩු දායකත්වයක් ලබා දෙන්නේ නම් පුරවැසියාට ඒ පිළිබඳ ප්‍ර‍තිචාර දැක්විය හැකි වීමත්, නියෝජිතයා එ් සඳහා වගකිව යුතු තැනකට පැමිණීමත් එහිදී වැදගත් ය.  

 

 

යහපත් මෙන්ම වඩා ක්‍රියාකාරී ලෙස කටයුතු කරන මහජන නියෝජිත පිරිසක් බිහිවනු දැකීමේ අභිලාෂය පෙරදැරි කරගත් Manthri.lk ශ්‍රේණිගත කිරීම සිය ඇගයීම් වර්ධක මිනුම ලෙස සළකමින් කටයුතු කිරීමට මන්ත්‍රීවරුන්ට/වරියන්ට ද හැකි ය. ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජයක වඩා ඉදිරිගාමී ආයතනයක් බවට පත්විය යුතු ව්‍යවස්ථාදායකය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තත්වයකට ගෙන ඒම සඳහා මහෝපකාරී වන ප්‍ර‍මුඛ සාධකයක් වන්නේ තරගකාරී ලෙස මහජන නියෝජනය සඳහා කටයුතු කරන මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරියයි.