almost 9 years ago by Surekha Samarasena under in Analysis

රජයේ රෝහල් වල ඖෂධ හිගයක් පවතින බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පල වූ අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී අචල ජාගොඩගේ මන්ත්‍රීවරයා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිතුමාගෙන් පිළිතුරු විමසන ලදී. ඒ ලිඛිත ප්‍රශ්න විමසීමේ අවස්ථාවේ දී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා වෙනුවෙනි.

 

මෙහිදී , අවශ්‍යතාව සලකා පෞද්ගලික අංශයෙන් ඖෂධ මිළ දී ගැනීමට ප්‍රාදේශීය රෝහල් වලට අවසර දී ඇත් දැයි අචල ජාගොඩගේ මන්ත්‍රීවරයා විසින් විමසන ලද අතර, පිළිතුරු වශයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, සාමාන්‍යයෙන් රජයේ රෝහල් වලට ඖෂධ මිළ දී ගැනීම ඔසුසල් හරහා සිදු වූවත්, අවශ්‍යතාව සලකා හිග පාඩුවක් ඇත්නම්, පිළිගත් මිළදී ගැනීමේ පටිපාටියට යටත් ව පෞද්ගලික අංශයෙන් ඖෂධ මිළට ගැනීමට අවසර දී ඇති බවයි. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ, එවැනි මිළදීගැනීමක් සිදුකරන විට වෛද්‍ය සැපයීම් අංශයේ මිළ ගණන්  සමග ලංසු මිළ ගණන් සාමාන්‍ය පරිදි සන්සන්දනය විය යුතු බව යි.

 

කෙසේ වෙතත්, පෞද්ගලික අංශයෙන් ඖෂධ මිළ දී ගැනිමට යාමේ දී පසුගියදා පේරාදෙණිය මහ රෝහල අක්‍රමික ගනුදෙනුවක නිරත වී ඇති බව සත්‍යයක් ද යන්න සම්බන්ධයෙන් අචල ජාගොඩගේ මන්ත්‍රීවරයා වැඩි දුර කරුණු විමසන ලද අතර, අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එවැනි අක්‍රමිකතාවක් සිදු වි ඇති බවට තොරතුරු ලැබී ඇති බව තමන් පිළිගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, පවසන ලදී.

 

මූලාශ්‍රය - 2015 අප්‍රේල් 21 හැන්සාඩ් වාර්තාව (පිටු අංක 22)