over 8 years ago by Manthri.lk - Research Team under in Analysis

ජනවාරි 9 වැනිදා අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුව අලුත් වැඩකට මුලපිරුවේ අලුත් බලාපොරොත්තුවක් ඇතුවය. අලුතින් අලුත් පණක් ලබා තිබෙන්නේ කලක් තිස්සේ ම මහජනතාවටත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලටත් සිවිල් සංවිධාන වලටත් තිබුණු දැවැන්ත ම බලාපොරොත්තුවකි. එනම් අලුත් ව්‍යවස්ථාව ක් සම්පාදනය කොට සම්මත කරගැනීම යි.

 

අලුත් ව්‍යවස්ථාව, වඩාත් පුළුල් අර්ථයෙන් ‘යහපත් ව්‍යවස්ථාවක්‘ බවට පත් කරගැනීමෙහි ලා පුරවැසියාට ඇති වගකීම සුළුපටු නොවේ. වැඩි වැඩියෙන් පුරවැසියන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්, අලුත් ව්‍යවස්ථාව සදහා වඩාත් ප්‍ර‍ගතිශීලී යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල වැදගත්කමක් ඇත්තේ එහෙයිනි.

 

‘අලුත් ව්‍යවස්ථාවට තමන්ගේ යෝජනා යොමු කළ හැක්කේ කෙසේ ද...?‘ යන කුතුහලය සන්සිදවමින්, ඊට අදාළ පුවත්පත් නිවේදනය අද දින (ජනවාරි 12) ප්‍ර‍කාශයට පත් කර තිබෙන අතර එමගින් අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට මහජන යෝජනා ලබා දීම සදහා මාසයක කාලයක් වෙන් කර ඇත. එම දැන්වීම අනුව, අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට මහජනතාවගේ යෝජනා ඉදිරිපත් කළ හැක්කේ ශීර්ෂයන් 20 ක් යටතේ ය. පිළිවෙලින් එම යෝජනා 20 මෙසේ ය.

 

1.     රාජ්‍යයේ ස්වභාවය

2.     ආණ්ඩුක්‍ර‍මයේ ස්වරූපය (විධායක ජනාධිපති ක්‍ර‍මය හෝ පාර්ලිමේන්තු ක්‍ර‍මය)

3.     ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය

4.     පුරවැසිභාවය, ආගම, මූලික අයිතිවාසිකම් හා යුතුකම්, භාෂා අයිතිය, කණ්ඩායම් අයිතිය හා රාජ්‍ය ප්‍ර‍තිපත්ති මෙහෙයවීමේ මූලධර්ම

5.     ව්‍යවස්ථාදායකය (ඒක මණ්ඩල / ද්වී මණ්ඩල)

6.     පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය / ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය

7.     ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර බලය වෙන් කිරීම

8.     අධිකරණයේ ස්වාධිපත්‍ය හා අධිකරණ ව්‍යුහය

9.     ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාව

10.බල හවුල්කාරීත්වය, බලය පැවරීම හා පලාත් පාලනය

11.කේන්ද්‍රයේ බල හවුල්කාරීත්වය

12.ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය හා ස්වාධීන කොමිෂන් සභා

13.රාජ්‍ය සේවය

14.මැතිවරණ ප්‍ර‍තිසංස්කරණය

15.පනත් පිළිබද අධිකරණ අධීක්ෂණය

16.පාර්ලිමේන්තු ක්‍ර‍මය යටතේ ජනාධිපතිගේ බලතල

17.පාර්ලිමේන්තු ක්‍ර‍මය යටතේ ජනාධිපති පත් කිරීම

18.මහජන ආරක්ෂාව

19.මූල්‍ය පරිහරණය

20.වෙනත් කරුණු

 

ඉහත සදහන් කර තිබෙන ශීර්ෂ වලට අදාලව තිබෙන ඔබේ යෝජනා සියල්ල ශීර්ෂ යටතේ වෙන වෙන ම සදහන් කර, එකම ලියුම්කවරයක බහා, 2016 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට පෙර පහත සදහන් ලිපිනයට යොමු කළ හැකි ය.

 

 

සභාපති,

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව,

විසුම්පාය,

කොළඹ 2

 

[email protected] විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකි නම්, එය ද ඔබගේ යෝජනා ලබාගැනීම සදහා විවෘතව ඇත.

 

වැඩි විස්තර ලබාගැනීම සදහා yourconstitution.lk පිවිසීමට හැකියාව ඇති අතර එහි සදහන් වන පරිදි එක් එක් යෝජනා ශීර්ෂ යටතේ අලුත් යෝජනා ඉදිරිපත් කිරීමේ පිරවීම්-ආකෘති ද සපයා ඇත.