about 1 month ago by Research Team under in Analysis

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය බලාත්මක වීමෙන් පසුව, වෙනත් රටක පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව මන්ත්‍රීධුරයකට තේරීපත්වීමේ වරප්‍ර‍සාදයක් නැත. (ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාවේ 91(1) වගන්තිය)

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය සහිත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ලබා දුන් තීන්දුව ආන්දෝලනාත්මක වූ අතර, මාධ්‍ය හමුවක් අතරතුර දී, අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් රටවල පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන්/වරියන් කිහිපදෙනෙකු ම සිටින බව ද හෙළිදරව් කරන ලදී.

කෙසේ වෙතත් පා.ම. ගීතා කුමාරසිංහ, තමන්ට එරෙහි තීන්දුව නැවත අභියාචනය පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පමුණුවා තිබෙන අතර, අදාළ අභියාචනාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව ද තවදුරටත් පාර්ලිමේන්තු සභාවට සහභාගී වන බව ද නීරීක්ෂණය කළ හැකි විය.

යම් හෙයකින්මන්ත්‍රී ධුරයක් දැරීමට අදාල වන නුසුදුසුකමක් තිබියදී ම වසර දෙකක් තිස්සේ ම ‘ මන්ත්‍රීධුරයක් දැරීමට සහ අදාළ වරප්‍ර‍සාද භුක්තිවිඳීමට ඉඩ කඩ තිබීම පිළිබඳ වගකීම හුදෙක් එම මන්ත්‍රීවරයාට/වරියට පමණක් (ප්‍ර‍ධාන ම වගකීම ඔහු/ඇය සතු වුවත්) පැවරිය හැකි ද?

‘නිදහස් හා සාධාරණ මැතිවරණයකට තරඟකර මන්ත්‍රීධුරයකට තේරීපත්වීම‘ නමැති ‘සුජාතභාවී‘ ප්‍ර‍ජාතන්ත්‍ර‍ - ක්‍ර‍මවේදයක් තුළ මන්ත්‍රී ධුරයකට ‘සුදුසුකම්‘ ලබා තිබෙන අයෙකු, නැවත අධිකරණ තීන්දුවක් (19 වැනි සංශෝධනය ප්‍ර‍කාර නව නීතියක් මඟින්)  මඟින් ‘මන්ත්‍රී ධුරයකට නුසුදුසු‘ අයෙකු බවට ප්‍ර‍කාශයට පත් වීම තුළ ‘මන්ත්‍රීවරුන් තේරීපත්වීමේ ක්‍ර‍මවේදය‘ තුළ යම් හිදැසක් පවතින්නේ ද යන සාධාරණ සැකය මතු වෙයි.

එහෙත් නාමයෝජනා පත්‍රයෙහි අත්සන් තීරුව හිසෙහි එන, තමාගේ කැමැත්ත දක්වන සහ තෝරා පත් කර ගැනීම සඳහා කිසිම නුසුදුසුකමකට තමා යටත් නොවන බවට සහතික කරන එක් එක් අපේක්ෂකයාගේ අත්සන‘  යන්නෙහි ‘කොන්දේසි සහගත අත්සන් ගැනීම‘ ක් සිදුකිරීම තුළ, සුදුසු/නුසුදුසු භාවයෙහි වගකීම අදාළ අපෙක්ෂකයා වෙත ම පවරා තිබීම නිරීක්ෂණය කළ හැකිය.

කෙසේ වෙතත් මෙහිදී අවධාරණය කෙරෙන ‘නුසුදුසුකම්‘ යටතට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව බලපැවැත්වෙන පුරවැසිභාවය පිළිබඳ කාරණය අදාල නැතැ‘යි තර්ක කළ හැකිය. මක්නිසාද යත්, 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව සංශෝධනය වී නොමැති බැවිනි. එබැවින්, යම් හෙයකින් ඉදිරියේදී මෙවැනි තාක්ෂණ දෝෂයක් නොවීමට එම පනත ද නව නීතිය ප්‍ර‍කාරව සංශෝධනය වීම වැදගත් ය.

මේ අතර මැතිවරණයක් සඳහා ඒ ඒ අපේක්ෂකයින් පක්ෂ/කණ්ඩායම් ලෙස නාමයෝජනා භාර දෙන බැවින් ද, එම නාමයෝජනා ලැයිස්තු පක්ෂ ලේකම් හෝ කණ්ඩායම් නායක විසින් අත්සන් තැබෙන බැවින් ද, ‘නුසුදුසු අයෙකු‘ මන්ත්‍රී ධුරයකට තේරීපත්වීමේ වගකීම පක්ෂයට ද පවරනු ලබයි.

 

පෙර මැතිවරණ ක්‍ර‍මය(කොට්ඨාස ක්‍ර‍මය) තුළ, යම් මන්ත්‍රීවරයෙකු/වරියක ‘මැතිවරණ දූෂණ‘ හෝ වෙනත් හේතුවක් මත ධුරයෙන් ඉවත් කළ විට ‘අතුරු මැතිවරණ‘ ක්‍ර‍මයක් තිබුණු මුත්, නව ක්‍ර‍මය තුළ එවැන්නක් නොමැති. එසේ තිබියදී, පුරවැසිභාවය පිළිබඳ අවශ්‍ය තරමට පරීක්ෂා නොකෙරෙන තාක්ෂණ දෝෂයක් සහිතව සහ අපෙක්ෂකයින්ගේ සහ පක්ෂයෙහි වගකීම් විරහිතභාවය තුළ, යම් හෙයකින් ‘නුසුදුසු අයෙකු‘ මන්ත්‍රීවරයෙකු/වරියක තේරීපත්වීමෙන් ඉවත්කිරීමට සිදුවීම ව්‍යාකූල විය හැකි ය.