12 days ago by Manthri.lk - Research Team under in Infographics

 

           අභිනව පාර්ලිමේන්තුවක පළමු කාර්යය වන්නේ නව කතානායකවරයෙකු පත් කර ගැනීමයි. ව්‍යවස්ථාදායකයේ ප්‍රධානත්වය හිමිවන මෙම තනතුර සදහා පත් වීමට සුදුසුකම් ලබන්නේ පාර්ලිමේන්තු මණ්ත්‍රීවරයෙකු පමණි. පාර්ලිමේන්තුවේ සිදු ක‍ෙර‍ෙන ඡන්ද විමසීමක් තුළින් ඔහු තෝරාගැනීම බොහෝ විට සිදු වේ. පත් වූ පටන් කතානායකතුමාගේ මූලික වගකීම වනුයේ සම්ප්‍රදායට අනුගතව ධූරයේ කටයුතු වඩාත් ස්වාධීන සහ අපක්ෂපාතී ලෙස ඉටු කිරීමයි. චාරිත්‍රානුකූල මෙන්ම පරිපාලනමය වගකීම් රැසක් උසුලන කතානායක තනතුර පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම කෙරෙහි කෙතරම් උපයෝගී වී තිබේද යන්න මෙම කෙටි ලිපිය තුළින් සලකා බැළේ.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා.

කතානායක තුමන් සැලක‍ෙන්නේ නිල බලයෙන්ම මෙරට තුන් වන පුරවැසියා වශය‍ෙනි.  ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තාවේ 80(1)වන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් ස්‍රී ලංකාව තුළ වලංගු නීතියක් බවට පත් වන්නේ කතානායකතුමන් ඊට අත්සන් කළ පසු ය. තවද එසේ සහතික කරන ලද නීතියක වලංගු භාවය කිසිඳු අධිකරණයක් ඉදිරියේ ප්‍ර‍ශ්න කළ නොහැකි බව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 80(1)(3)වන ව්‍යවස්ථාව ප‍ෙන්වා ද‍ෙයි.

     ඊට අමතරව පාර්ලිමේන්තු ස්වාධීනත්වය කෙරෙහි බෙහෙවින් බලපානු ලබන වගකීම් රාශියක් එතුමන් උසුලනු ලබයි. න්‍යාය පුස්තකයට කරුණු ඇතුළත් කිරීම, විවාද සඳහා මණ්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම සහ කාලය වෙන් කිරීම, ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විනය ඇතුලු කටයුතු පවත්වා ගෙන යාම, අවශ්‍ය අවස්තාවලදී සභාවට උපදෙස් දීම මෙන්ම මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම මේ අතර පවතී. තව ද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තාවේ 65(3)වන ව්‍යවස්ථාව අනුව තම කාර්ය මණ්ඩලය පත් කිරීමට ප‍ෙර පාර්ලිමේන්තු මහලේකම්වරයා කතානායකතුමන්ගේ අනුමැතිය ලබා ගත යුතු ය. තවද එතුමන් විවිධ ස්ථාවර කමිටුවල සභාපතිත්වය උසුලන අතර පාරලිමේන්තු භූමියේ සහ ගොඩනැගිලිවල ආරක්ෂකයා ද වේ.

     ඊට අමතරව:

  • 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තා සභාවේ සභාපතීත්වය නිල බලය‍ෙන්ම උසුලන්නේ කතානායක තුමා ය.
  • එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්තර කර ඇති පරිදි,  ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් පවතින විට, ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට එම ධුරයෙහි වැඩ බැලීමට නොහැකි නම්, කථානායකවරයා ජනාධිපති ධූරයෙහි වැඩ බැලිය යුතු ය.

 

යටගියාවෙන් තොරතුරු බිදක්,

            කතානායක ධූරය නිෂ්චිතවම  ඇරඹුනා යැයි සැලකෙන්නේ 13 වන සියවසේ බ්‍රිතාන්‍යයේදී ය. ඔහුගේ කාර්යය පාර්ලිමේන්තු තොරතුරු රජුට වාර්තා කිරීම විය. අසතුටුදායී පුවත් ගෙනයාම දඬුවමට හේතු වූ අතර වසර 1394ත් 1535ත් අතර මෙලෙස මරණ දණ්ඩනයට ලක් වූ කතානායකවරුන් ගණන 7 දෙනෙකි.

             16 වන සියවසේ බ්‍රිතාන්‍යය රජු සහ පාර්ලිමේන්තුව අතර බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස කතානායකධුරය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් වූ නමුත් රජුගේ සහ ආණ්ඩුවේ බලපෑම්වලින් මුළුමනින්ම මිදුණු තනතුරක් නො වීය.මෙය වසර 1728ත් 1761ත් අතර ධූරය දැරූ ආතර් ඔන්ස්ලෝ කතානායකවරයාගේ වකවානුව තුළ කැපීපෙනෙන වෙනසකට ලක් විය.ඔහුගේ යුගයේ දී  කතානායක ධූරය රජයේ බලපෑමෙන් ප්‍රබලව මුක්ත වූ අතර නූතනයේ කතානායකවරුන් අනුගමනය කරන  පරිඡයන් රාශියක පදනමද සැකසුනි.‍මෙකී පරිවර්තනයන් පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාවර වීමට හේතු වූ අතර 19 වන සියවසේ සිට අද දක්වාම කතානායකවරයාගෙන් අපේක්ෂා කරනුයේ ආයතනික ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව තුළ අපක්ෂපාතීව කටයුතු කිරීමයි.

1948 නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව පත් වූ අවස්ථාවේ සිට අද දක්වා කතානායකවරුන් 21 දෙනෙකු පත් ව ඇති අතර ඉන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ද 18 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන්ද පත් ව තිබේ.වසර 7කුත් මාස 3ක් සේවය කළ ශ්‍රීමත් ඇල්බට් එෆ් පීරිස් මහතා සහ දින 24ක් සේවය කළ ටී.බී සුභසිංහ මහතා පිළිවෙලින් වැඩිම හා අඩුම දූර කාලයන් වාර්ථා කළ කතානායකවරුන් වන අතර ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් නියෝජනය කළ එක ම කතානායකවරයා ස්ටැන්ලි තිලකරත්න මහතා ය.

             වරින් වර විවිධ විවේචනයන්ට බඳුන් වුවද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිඳු කතානායකවරයෙකුට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොවීමද පෙන්නුම් කරන්නේ මණ්ත්‍රීවරුන් කවර දේශපාලන පක්ෂයක් තුළින් කතානායක ධූරයට පැමිණියද එහි කටයුතු ස්වාධීනව ඉටු කොට ඇති බවයි.

             ඒ අනුව මුලින් හුදු සම්බන්ධීකාරකවරයෙකු ලෙස ඇරඹි කතානායක ධූරය නූතනයේ පෙන්වා දිය හැක්කේ පාර්ලිමේන්තු ස්වාධීනත්වයේ උත්තරීතර ආරක්ෂකයා ලෙස ය.