over 10 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

මහජන පෙත්සම් - පාර්ලිමේන්තුව තුල අතහැරදැමුණු මෙවලමක් 
- අසෝක ඔබේසේකර

පාර්ලිමේන්තු මහජන පෙත්සම් යනු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළින් ශ්‍රී ලංකාවට දායාද කරන ලද වැදගත් ප්‍රජාතාන්ත්‍රික මෙවලමකි. 

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියට අනුව,

‘‘මහජන පෙත්සම් වලින් කෙරෙන්නේ පරිපාලන යන්ත්‍රණවල ක්‍රියාත්මකභාවය හා මහජන දුක්ගැනවිලි සම්බන්ධයෙන් රටවැසියන් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබිමයි. ඒවායෙහි විෂයාත්මක සීමාවන් නොමැති අතර ඉදිරිපත් කෙරෙන පෙත්සම් සංඛ්‍යාව පිළිබද සීමාවන් ද නැහැ"

මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සමක් මහජන පෙත්සම් කමිටුවේ අවධානයට යොමුකරවනු ලැබේ. මහජන පෙත්සම් සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත් කිරීමට හා විභාග කිරීමට මහජන පෙත්සම් කමිටුවට බලය ඇත.

මේ අනුව මහජනතාවට අසීමාන්තික පරාසයක් සහිත වන විෂයන් සම්බන්ධයෙන් කරුණු විමසීමට හැකිවන ප්‍රජාතාන්ත්‍රික බල මෙවලමක් ලෙස පෙත්සම් හැදින්විය හැක. 

කෙසේ වෙතත් පෙත්සම් සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශන වෙබ් අඩවික් වන Manthri.lk විසින් කරණ ලද විමසීමකදී අනාවරණය වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පෙත්සම් යන මෙවලම අවම වශයෙන් භාවිතා වන බවයි.



2012 වර්ෂයේ මැයි 1 වැනිදා සිට 2013 අප්‍රේල් 30 වැනිදා දක්වා පාර්ලිමේන්තුවට පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 26% ක් පමණි.(මන්ත්‍රීවරුන් 225 ක් අතුරින් 59)

ඉහත දැක්වෙන ප්‍රස්ථාර සටහන අනුව ආණ්ඩු පක්ෂ සන්ධානයේ එ.ජ.නි.ස. මන්ත්‍රිවරුන් 45 ක් (28%) පෙත්සම් ගොනු කර ඇති අතර විපක්ෂය අතරින් පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන එ.ජා.ප. යේ මන්ත්‍රිවරුන් 8 ක් (18%) ක් පමණි.



ඇත්තවශයෙන්ම ඉදිරිපත්ව ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව වන 293ක් අතරින් 219ක් ම එ.ජ.නි.ස. මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කර ඇත. එනම් මුළු පෙත්සම් සංඛ්‍යාවෙන් 75% කි. එ.ජ.නි.ස. විසින් නියෝජනය කරන ආසන ප්‍රතිශතය 72% කි.

එ.ජා.ප. මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 59 ක් වන අතර එය සමස්ත පෙත්සම් ප්‍රමාණයෙන් 20% කි. එ.ජා.ප.ය විසින් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු අසුන් ප්‍රතිශතය ද 20% කි.

පෙත්සම් ප්‍රමාණයන් දළ වශයෙන් නියෝජනයට සමානුපාත වුවත්, කෙසේවෙතත් එය ඉදිරිපත්කිරීම් පිළිබද නියත දර්ශකයක් නොවේ. දත්ත සමීප විශ්ලේෂණයේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පෙත්සම් ඉදිරිපත් කරන ලද මන්ත්‍රිවරු අතර ඉදිරියෙන්ම සිටින බව පෙනේ. ඔහු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 105 කි.

වාසුදේව මන්ත්‍රීවරයාගේ පෙත්සම් ඉදිරිපත්කිරීම පිළිබද සලකා බලන විට ‘ඇයි ඔහු පමණක්..?‘ යන ගැටලුව මතුවේ. මන්ත්‍රීවරුන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ධෛර්යයමත් නොවන්නේ ඇයිදැයි යන්න පිළිබද නිශ්චිත පිළිතුරක් නැත. මන්ත්‍රිවරුන් සෘජු පෙත්සම් ක්‍රියාවලිය පිළිබද දැනුවත්ව නොසිටීම (ස්ථාවර නියෝග 25 ඒ.) ද, මහජනතාව පෙත්සම් පිළිබද ව නොදැනුවත්ව සිටීම ද ඊට හේතුවිය හැක. තවත් අතකින් මෙම පෙත්සම් විභාග කිරීමේ ක්‍රියාවලිය සහ එහි ඵලදායී බව පිළිබද විශ්වාසයක් නොමැතිවීම ද මහජන පෙත්සම් ඉදිරිපත් කිරීම කෙරෙහි මන්ත්‍රීවරුන් අධෛර්යයමත් කරනු ලැබ ඇත. තමන්ගේ දුක්ගැනවිලි වලින් නිදහස්වීමට මහජනතාවට සෘජුවම ද ඔම්බුඩ්ස්මන්වරයා වෙත පෙත්සම් ඉදිරිපත්කිරිමට හැකියාවක් ඇතත් ඒ සම්බන්ධයෙන් ද මහජනාතාව නිසියාකාරයෙන් දැනුවත්වත් වී නොමැති බව පෙනේ.

කෙසේ වෙතත් පෙත්සම් වලට කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දැක්වීමට බාධාවක්ව ඇති තොරතුරු හිදැස් (පෙත්සම්කාරක සභාව - මහජනතාව - නිලධාරීන් - මහජන නියෝජිතයින් අතර ඇති..) පියවීමට කටයුතු යෙදීමෙන් ද, පෙත්සම් ඉදිරිපත්කිරීම පිළිබද පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගැනීමෙන් ද මහජන පෙත්සම් ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් ආරක්ෂාකිරීම සදහා යොදාගත හැකි වැදගත් මෙවලමක් කරගත හැක. 

ඔබටත් ඔබේ මන්ත්‍රීවරයා මගින් මහජන පෙත්සම් යොමුකිරීමට හැකියාව ඇති අතර මන්ත්‍රිවරයා ඇමතීමෙන් (Manthri.lk අඩවිය තුළ මන්ත්‍රීවරුන්ගේ ඇමතුම් තොරතුරු ඇත.) එය ඉටු කර ගත හැක. එය අපහසු නම්, ඔබේ ප්‍රශ්නය අප වෙත යොමු කරන්න. ([email protected]) අපි ඔබට සහයවීමට සූදානම්.